උණුසුම් පුවත්

බිරින්දෑවරුන් නිසා මියැදෙන ශ්‍රී ලංකාවේ ක්‍රිකට්


මෙරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ශ‍්‍රී ලංකාව අතහැර ඇමරිකාවේ පදිංචියට ගිය ක‍්‍රීකට් ක‍්‍රීඩක ෂෙහාන් ජයසූරිය විසින් මාධ්‍ය වෙත කර තිබූ ප්‍රකාශයට ජාතික කණ්ඩායමේ ක්‍රීඩක තිසර පෙරේරා ප‍්‍රතිචාර දක්වා තිබේ.

තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් තබමින් ඔහු පවසන්නේ ෂෙහාන් ජයසූරියගේ නොමනා හැසිරීම ඊට හේතුව බවයි.

‘මාගේ සහෝදර ක්‍රීඩකයෙක් මා පිලිබදව පුවත්පතකට කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් මා පිලිබද වැරදි වැටහීමක් ඇතිවිය හැකි බව පෙනීයන නිසා ඒ කාරණය පිලිබදව සත්‍ය තත්වය පැහැදිලි කිරීම සුදුසු බවට මා තීරණයට කලා.

ඔහු සදහන් කල කාරණය තරගාවලියක් අතරතුර සිදූවූ කාරණයක් නිසා එවනි දේ පිලිබදව ජනමාධ්‍ය ඉදිරියේ කතා කිරීම පිලිගත් සම්ප්‍රදාය නොවුනත් මාගේ සහෝදර ක්‍රීඩකයා සම්පූර්ණ වැරදි ප්‍රකාශයක් සිදුකිරීමෙන් පසුව ඒ පිළිබදව සත්‍ය ප්‍රාකාශ කිරීම හැර මට කිසිදු විකල්පයක් නොමැත.

2017 ඩුබායි හී දී මා නායකත්වය දැරූ සංචාරයකදී මාගේ සහෝදර ක්‍රිඩකයා යම් කාන්තාවක් (අද ඔහූගේ දෙවෙනි බිරිය) සංචාරයට රැගෙන විත් ඇයව ඔහුගේ කාමරයේ තියාගැනීමට එවකට සිටි කලමනාකරුගෙන් අවසර ඉල්ලා තිබිණ.

එවිටත් ඔහු විවාහක එක්දරු පියෙක් බැවින් කණ්ඩායම් නායකයා ලෙස මම ඒ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කලෙමි. එයට හේතුව කන්ඩායමක් තුල ආරක්ෂා කලයුතු විනයයි

(Discipline). කණ්ඩායම සමග සoචාරයක යෙදී සිටියදී විනයගරුකව හා ගෞරවනීය ලෙස හැසිරීමට අප සැම බැදීසිටී . . . මා එදා එයට එකගවූවේ නම් සහය අද මා ඔවුන් දෙදෙනාගේ වීරයා වන්නට ඉඩ තිබිණ. නමුත් විවාහකයකුට දැන දැනම වෙනත් කාන්තාවක් තම හෝටල් කාමරය තුල තබා ගැනීමට ඉඩ දීම ඡේෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස මා විසින් නවකයින්ට ලබා දෙන වැරදි ආදර්ශයක් මෙන්ම දැඩි විනය විරෝධී ක්‍රියාවකි.
මේ කතාවේ සත්‍ය මෙපමණයි.

කිසිවෙකු සමග පෞද්ගලික තරහක් මා හට කිසිසේත්ම නැත. විනය යනු කණ්ඩායමක් තුල තිබුය යුතුම දෙයකි. වගකිව යුතු ක්‍රීඩකයෙකු ලෙස විනය රැකීම ඉතා වැදගත් මෙන්ම එය ඕනෑම කන්ඩායමකට හෝ ක්‍රීඩකයෙක්ට සාර්ථකත්වය කරා යෑම පහසු කරයි.

හැමදේම දක්ශතාවය මත පමණක්ම තීරනය නොවේ. මා එදා ඉටු කලේ මාගේ යුතුකම හා වගකීමයි.

අපගේ ඡේෂ්ඨයින්ගෙන් අප ආදර්ශයට ගත් දේ වගේම ; බිරිද , දරුවන් හැර වෙනත් පිටස්තරයින් සංචාරයක් තුල හෝටල් කාමරයේ තියාගැනීම ද අපගේ නීති සහ රෙගුලාසි වලට මෙන්ම සදාචාරයටද පටහැනිය.

ඒ වගේම කිසිම පිටස්තරයෙකුට පමණක් නොව පවුලේ සාමජිකයෙකුට වුවද ක්‍රීඩා විවේකාගරයට( Players’ Dressing Room) ඇතුල්වීමට කිසිම අවසරක් නැත. එය වෙන්වන්නේ ක්‍රිඩකයින්ට හා කණ්ඩායමේ කලමනාකාරිත්වයට පමණයි. අප හැම දන්නා හා ගරුකරන නිතීය එයයි. මේ තීරණ මා හා කන්ඩායම් කලමනාකාරිත්වය එක්ව ගත් තීරණ මිසක කිසිසේත්ම මාගේ බිරිද විසින් ගත් තීරණ නොවේ. ඔහු විසින් නම් කර ඇති ක්‍රිඩකයින් ගෙන් මාගේ බිරිද එවැන්නක් ඔවුන් හට පැවසූවාද නැද්ද යන්න හොදම පිලිතුර ඇත්තේ ඒ ක්‍රිඩකයින් ලගයි.

ක්‍රීඩාව හා පෞද්ගලිකත්වය මිශ්‍ර කර නොගන්නේ නම් කිසි දින අනවබෝධයක් ඇති නොවනු ඇත.

එසේම පුද්ගලික කාරණාවක් පිලිබදව අදහස් ප්‍රාකාශ කිරීමට අකමැත්තෙන් පෙලඹීමට සිදුවීම ගැන මා සමාව ඉල්ලා සිටිමි .

මොහු පවසන පරිදි , මාගෙ මේ සහෝදර ක්‍රීඩකයා අප නිසා රට හැර ගියේ නම් එය බලවත් කනුගාටුවට කරුණකි. නමුත් එය කිසීසේත් එලෙස සිදු නොවූවකි.

කෙසේ වෙතත් මා ඔහුට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.’

(තිසර පෙරේරා FB)

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග බිමෙන් සමුගනිමින් අමෙරිකාවේ පදිංචිය සඳහා පිටත්ව ගියා.

ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකරන බවත්, එහි තේරීම් සඳහා තමා ඇතුළත් කර නොගන්නා ලෙසත් ඔහු පසුගියදා ක්‍රිකට් ආයතනනයට ලිඛිතව දන්වා එවා තිබුණි.

ඔහු විදෙස්ගත වීමෙන් පසුව මෙරට පුවත්පතකට සාකච්ඡාවක් දෙමින් තිසර පෙරේරාගේ බිරිඳ කණ්ඩායමේ සමගිය බිඳ දැමු ආකාරය සම්බන්ධයෙන්  හෙළිකර තිබිණ.

මේ ඊට අදාළ සාතච්ජාවයි.

ඇයි හදිසියේ මේ වගේ තීරණයක් ගත්තේ ?

ශ්‍රී ලංකාවේදී ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න ලැබෙන අවස්ථාවනුත් අඩු නිසා මං හිතුවා අමෙරිකාවේ දේශීය ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරලා ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලබාගන්න ඕනැ කියලා. එහේ දේශීය තරගබිමේ අවුරුදු 3ක් සෙල්ලම් කළාට පස්සේ ජාතික කණ්ඩායමට එක්වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ලබන මාර්තුවල මෙහේ සීසන් එක පටන් ගන්නවා විස්සයි20. මම කැලිෆෝනියා ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරනවා.

ඇයි මව්බිම එපා වුණේ ?

එපා වුණේම නෑ. ඒත් මට ලැබුණු අවස්ථා මදියි කියලා හිතුණා. අනික මම පොඩි කාලේ ඉඳලා මුල්පෙළ පිතිකරුවෙක්. නමුත් ජාතික කණ්ඩායමේදී මට ලැබුණේ අංක 7 ස්ථානයේ සෙල්ලම් කරන්නයි. අනික තරග දෙකක් විතර හොඳට කරලා තියෙද්දිත් ඊළඟ තරගවලට ගත්තේ නැති අවස්ථා පවා තිබුණා. විවේක ගන්න කිව්වා. මට එහෙම විවේක ගන්න වුවමනාවක් නෑනේ. මම ඉන්නේ සෙල්ලම් කරන්නනේ.

හොඳට කළා කියන්නේ දස්කම් දැක්වුවා කියන එකද ?

ඔව්. විස්සයි20 තරගවල ලකුණු 30ක්, 40ක් කියන්නේ හොඳ ලකුණු ප්‍රමාණයක්නේ. එහෙම දස්කම් දක්වලා තියෙද්දිත් මාව ඊළඟ තරගවලට ගත්තු නැති අවස්ථා තිබුණා.

ඔබ 2015 දී මුලින්ම ජාතික පිලට එක්වුණේ. ඒත් දැනට සෙල්ලම් කරලා තියෙන්නේ එක්දින තරග 12යි. විස්සයි20 තරග 18යි ?

ඒක තමයි කියන්නේ. මට ලැබුණු අවස්ථා හොඳටම මදි කියලා. මම 2019 සැප්තැම්බරයේ ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් පාකිස්තානයට ගිය කණ්ඩායමට ඇතුළත් වුණා. දෙවැනි එක්දින තරගයේදී මම ලකුණු 96ක් රැස් කළා. ඒත් ලංකාවට ආවට පස්සේ ඊළඟ තරගවලින් අයින් කළා. මම ඇහුවා ඇයි කියලා. එතකොට කිව්වේ ෆිට්නස් මදි කියලයි. මට ‘ක්‍රෑම්ප්‘ එකක් ආපු බව ඇත්ත. ඒත් ඒ වගේ පාදයේ ආබාධ ඕන කෙනෙකුට එන්න පුළුවනි නේ. මාව කණ්ඩායමෙන් අයින් කරන්න එක එක කාලෙට එක එක දේවල් කිව්වා. මම මහත වැඩියි කියලත් කියලා තියෙනවා.

කවුද ඕවා කරන්නෙ ?

තේරීම් කමිටු සභාපතිවරයා.

ඔබ ලකුණු අතරේ හිටියා ප්‍රමාණවත් කියලා හිතනවා ද ?

මම විස්සයි20 මංගල තරගයේදී ලකුණු 40ක් රැස් කළා. මුල් තරග කිහිපය තුළ ලකුණු අතරේ හිටියා. ඒක වුණේ මම මුල්පෙළ පිතිකරුවෙක් විදිහට ක්‍රීඩා කළ නිසයි. ඒත් පහුවෙනකොට මාව අංක 7 ස්ථානයෙන් පිටියට යැව්වා. එතකොට තරමක් අසීරු වුණා. මගේ සුපුරුදු ආවේනික ක්‍රීඩා විලාශය වෙනස් කරගන්න ටිකක් අමාරුයි. නමුත් මාව කණ්ඩායමට ගත්තේ කාලෙන් කාලෙටයි.

ලංකාවේ ක්‍රිකට් එපාවෙන්න මොනවද අනිත් කාරණා ?

කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් සහ ඔහුගේ බිරියත් තව හේතුවක් වුණා. කෙළින්ම කියන්නම් ඒ තිසර පෙරේරයි, එයාගෙ බිරිඳයි.

මොකක්ද ඒ කතාව ?

වතාවක් කණ්ඩායම ඒත් එක්ක ඩුබායි ගිය වෙලාවක මමයි, දසුන් ශානකයි, කසුන් රාජිතයි ආහාර ගනිමින් හිටපු මේසයට ඒ ක්‍රීඩකයාගේ බිරිඳ ඇවිත් මාත් එක්ක කතා කරන්න එපා කියලා එයාලාට කිව්වා. මට සෑහෙන්න ප්‍රශ්න ඇති කළා. මාවයි ඇන්ජෙලෝ මැතිව්ස්වයි කොටවන්න බැලුවා. ඔය දේවල් දිගින් දිගටම සිද්ධ වුණා.

එතකොට ඔය කියන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා මොනවද කළේ ?

ඔහුත් බිරිඳගේ පැත්ත තමයි ගන්න ඇත්තේ. එල්.පී.එල්. ආපු වෙලාවේ ඔහු මට ප්‍රශ්න ඇති කළා. එල්.පී.එල්. එක ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට තහනම් කරලයි තිබුණේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට එන්න බෑ කියලයි තිබුණේ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන්ගේ බිරින්දෑවරුන්ට එන්න බෑ කියලා තිබුණේ නෑ. විදේශ ගුවන්ගමන් බලපත් තියෙන අයට පුළුවන් කිව්වා. මගේ බිරියට අමෙරිකානු ගුවන්ගමන් බලපත්‍රයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මම බිරිය එක්කරගෙන ආවා. ඒක අදාළ ක්‍රීඩකයා පැමිණිලි කළා. නමුත් ප්‍රශ්නයක් වුණේ නෑ. ඒත් ඒ ක්‍රීඩකයා නිතරම මගේ බිරිය ගැන අවධානයෙන් හිටියේ. එයා හදිසියේවත් එළියට ගියොත් මාවත් යවනවා කියන තැන තමයි ඒ ක්‍රීඩකයා හිටියේ. එයා අපේ කණ්ඩායමේ වෛද්‍යවරියකට කතා කරලා ඒ මාර්ගයෙන් අපි දෙන්නට සෑහෙන්න ප්‍රශ්න ඇති කළා.

ඇයි මේ ක්‍රීඩකයයි එයාගේ බිරියයි ඔබ පසුපස එළව එළවා පළිගත්තේ ?

ඒක මම අදටත් දන්නෙ නෑ.

ඔබේ ක්‍රිකට් පුහුණුකරුවන් පිළිබඳ සිහිපත් කළොත් ?

බන්දුල ද සිල්වා සර් තමයි මගේ පළමු ක්‍රිකට් පුහුණුකරු. පාසලේ දි නම් ලන්ත්‍රා ප්‍රනාන්දු සර්. මම පොඩි කාලේ ඉඳලා ක්‍රිකට් ක්‍රීඩාවට ආසයි. නමුත් පොඩි කාලේ මම අධ්‍යාපනය ලැබූ රාවතාවත්ත මෙතෝදිස්ත පාසලේ ක්‍රිකට් තිබුණේ නෑ. ඒ නිසා තාත්තා මාව බන්දුල සර්ගේ ක්‍රිකට් ඇකඩමියට දැම්මා.

ඔබේ ක්‍රිකට් වීරයන් කවුද ?

ලංකාවේ නම් සනත් ජයසූරිය. පන්දු යවන්නන්ගෙන් ලසිත් මාලිංග. විදෙස් ක්‍රීඩකයන්ගෙන් ශිකර් ධවාන්ට කැමැතියි.

ඔබ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමටත් ක්‍රීඩා කළා. මම හිතන්නේ ජාතික කණ්ඩායමට වඩා ඔබ වැඩි හරියක් හිටියේ ‘ඒ‘ කණ්ඩායමේ ?

කතාව ඇත්ත. ‘ඒ‘ කණ්ඩායමේ තමයි වැඩිපුර හිටියේ. පුහුණුකරු හැටියට හිටපු අවිශ්ක ප්‍රනාන්දු සර්ට ස්තූති කරන්නම ඕනා. අවිශ්ක සර් තමයි මාව අංක 3න් දාලා බැට් කරන්න කිව්වේ. අංක 3 ස්ථානයේ සෙල්ලම් කරලා මම ශතකයක් රැස් කරලා තරග දිනලා දීලත් තියෙනවා.

ඔබ නැවත ශ්‍රී ලංකාවට එන්නෙ නැද්ද ?

ඇවිත් යන්න ඒවි. නමුත් ස්ථීර වශයෙන්ම පදිංචිය අමෙරිකාවේ. මම ක්‍රීඩා කළ චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන්ගෙන් සමුගන්නවත් අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ ගැන කනගාටුවක් තියෙනවා.

වමතින් පිත්ත හසුරුවන, දකුණතින් පිටදඟ පන්දු යවන ජාතික ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග බිමෙන් සමුගත්තේය.

අමෙරිකාවේ පදිංචිව සිටින කලක් මෙරට ජනප්‍රිය ගායකයකුව සිටි සමන් පුෂ්පවර්ණ සහ රංගන ශිල්පිනියක වූ ඩිලානි අබේගුණවර්ධනගේ දියණිය කවීෂා කාවින්දි සමග පසුගිය වසරේ සැප්තැම්බරයේදී විවාහ වූ 29 හැවිරිදි ශෙහාන් ද මේ වනවිට පදිංචිව සිටින්නේ නිව්යෝක් නුවරය.