උණුසුම් පුවත්

නීත්‍යානුකූල නොවන ලෙස රැඳවියෙකු මුදා හල තිදෙනෙකුගේ වැඩතහනම්


වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකු නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මුදාහැරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ජේලර්වරු දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ.

කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාව මත අදාළ සිරකරු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිට ඇති අතර ඔහු පසුගිය 25 වැනිදා බන්ධනාගාර නිලධාරීන්ගේ උපකාරය ඇතිව ඉන් පිටව ගොස් ඇති බව සඳහන් වේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තු මට්ටමින් ද පරීක්ෂණයක් සිදුකර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තු මට්ටමින් සිදුකළ පරීක්ෂණයට අනුව එම රැඳවියාට බන්ධනාගාරයෙන් පළායාම සඳහා ජේලර්වරුන් දෙදෙනෙකු සහ නියාමකවරයෙකු සහයෝගය ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව විනය පරීක්ෂණයකට යටත්ව ඔවුන් තිදෙනාගේ වැඩතහනම් කිරීමට පියවර ගත් බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.