උණුසුම් පුවත්

උතුරු මුහුදේදී ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා නෞකාවක හප්පයි


උතුරු මුහුදේ අනවසරයෙන් මසුන් අල්ලිමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් ඊයේ (19) අලුයම් කාලයේදී නාවික හමුදා නෞකාවක ගැටීමට සලස්වා පලා යාමට උත්සහ ගැනීමේ දී අදාල ඉන්දීය ධීවර යාත්‍රාව මුහුදේ ගිලී ධීවරයින්ද අතුරුදහන්ව ඇති බව නාවික හමුදාව පවසයි.

උතුරු මුහුදේ ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු තීරයේ මුහුදු සැතපුම් 08 පමණ දුරින් නීතිවිරෝධීව මසුන් අල්ලමින් තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීම සඳහා උතුරු නාවික විධානයට අයත් නෞකාවකින් ඉන්දීය ධීවර යාත්‍රාව ආසන්නයට ගිය අවස්ථාවේදී ධීවර යාත්‍රාව අනතුරුදායක හා අවේගසීලීව හසුරවමින් නාවික හමුදා නෞකාවේ ගැටීමට සල්වා ඇත.

ධීවර යාත්‍රාව නාවික නෞකාවේ ගැටීම හේතුවෙන් නෞකාවේ මැද බඳ කොටසටද හානි සිදුව ඇති අතර නෞකාව අලුත්වැඩියා කිරීම සඳහා ආරක්ෂිතව යාපනය කන්කසන්තුරෙයි නාවික ජැටිය වෙතට රැගෙන ඒමට කටයුතු යොදා ඇත.

මේ අතර නෞකාවේ ගැටීමෙන් මුහුදුබත් වූ ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සොයා බේරාගැනිමේ කටයුතු ද දිනය පුරා සිදුකලද කිසිවෙක් සොයා ගැනීමට නොහැකි වී ඇත.

අනතුරුව ඒ බව ඉන්දීය වෙරලාරක්ෂක ඇතුලු බලධාරීන් දැනුවත් කිරීමටද නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.

(වන්නි රොමේෂ්)