උණුසුම් පුවත්

පොල් අපනයන ආදායම ඉහළ යයි


පෙර වසරවලට සාපේක්ෂව 2019 වසරේදී එකම කෘෂි කාර්මික අපනයන භෝගයන් අතර පොල් අපනයන ආදායම ඉහළගොස් තිබෙනවා.

ඒ, ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක් දක්වා සියයට 6 යි දශම බින්දුවකින්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාව මඟින් පෙන්වා දෙන්නේ, එම වසර තුළ තේ, රබර්, කුළුබඩු, එළවළු, මුහුදු ආහාර සහ සකස් නොකළ දුම්කොළ ආදී අපනයන සංයුති අතරින් මෙලෙස පොල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ඉහළගොස් ඇති බවයි.

පාස්කු ඉරිදා සිදුවු ත්‍රස්ත ප්‍රහාරය සහ පසුගිය වසරේ අගභාගයේ සිට බලපෑ කොවිඞ් වසංගත තත්ත්වයන් යටතේ වුවද  දිසිදි පොල් මූලික කරගත් පොල් මද ආශ්‍රිත අපනයන සහ පොල් කෙඳි වැනි පොල් මද ආශ්‍රිත නොවන නිෂ්පාදන අපනයන පරිමා ඉහළයාමද විශේෂත්වයක්.

2019 මහ බැංකු වාර්තාව අනුව නැවුම් එළවළු, පැපොල්, අඹ, පුවක් සහ බුලත් වැනි සුළු කෘෂිකර්මික නිෂ්පාදන අපනයනද පසුගිය වසරට සාපේක්ෂව ඉහළගොස් තිබෙනවා.

මේ අතර ‘2019 වසරේ ආනයන’ සංයුතිය අනුව පාරිභෝගික භාණ්ඩ අතරින් ආහාර හා පාන වර්ග, සහල්, සීනි හා රසකැවිලි, කිරි නිෂ්පාදන සහ පරිප්පු, මෙරටට ගෙන්වා ඇති භාණ්ඩවලින් බොහෝ ලෙස ආනයනය කර ඇති බවයි මහ බැංකු වාර්ෂික වාර්තාව මඟින් පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම අන්තර් භාණ්ඩ ආනයනය යටතේ, ඉන්ධන, රෙදිපිළි, දියමන්ති, රසායනික නිෂ්පාදන සහ තිරිඟු හා ඉරිඟු මෙරටට ගෙන්වා තිබෙනවා.

ගොඩනැඟිලි ද්‍රව්‍ය, ප්‍රවාහන උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර හා උපකරණ පසුගිය වසර තුළ මෙරටට ආනයනය කර ඇත්තේ ගෙන්වන ලද වැඩිම ආයෝජන භාණ්ඩ ලෙසයි.