උණුසුම් පුවත්

භාෂණයේ නිදහස උදෙසා විපක්ෂයේ විරෝධතාවයක්


සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ පොදු එකමුතුව සංවිධානය කළ “භාෂණයේ නිදහස සුරකිමු” නිදහස උදෙසා විරෝධතාවය කොළඹ නිදහස් චතුරස්‍රය අසලදී අද (13) පස්වරුවේ පැවැත්විණි.

විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැති එම විරෝධතාවයට මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

භාෂණයේ නිදහස සුරකිමු, ඉවසන්න හුරුවෙන්න – භාෂණයට ඉඩදෙන්න, ස ෆේල්, මිත්‍යාවෙන් ඈත්වෙලා විද්‍යාවට ඉඩදෙන්න ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් විරෝධතාවයේ නිරත විය.

කොළඹ නිදහස් චතුරස්‍රය අසලට අද පස්වරු 3.00ට පමණ රැස්වූ විරෝධතාකරුවන් “භාෂණයේ නිදහස සුරකිමු” යනුවෙන් සඳහන් කළ කබායන් පැළඳ විරෝධතා සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත විය.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, රිෂාද් බදියුදීන්,  හරීන් ප්‍රනාන්දු, හර්ෂණ රාජකරුණා, මනුෂ නානායක්කාර,  කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ