උණුසුම් පුවත්

අමාත්‍ය ජනක බංඩාරට එරෙහි මිනීමැරුම් චෝදනාව බලරහිත කරයි


1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍රයක් නීතියට පටහැනි යැයි තීන්දු කළ අභියාචනාධිකරණය එය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

පෙත්සම්කාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ රිට් පෙත්සම් මඟින් සඳහන් කර තිබුණේ, 1999 වසරේ මහවෙල ප්‍රදේශයේ ඇති වූ මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2015 වසරේ දී බලයට පත් යහපාලන රජය විසින් තමන්ට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනු කළ බවයි.

එම අධිචෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් අමාත්‍යවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සමට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණය සභාපති විනිසුරු නවාස් මහතා පෙත්සම්කරුට එරෙහිව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය පවත්වා තිබෙන ලඝු නොවන නඩු විභාගය නිත්‍යානුකූල නොවන බව සඳහන් කර ඇත.