උණුසුම් පුවත්

www.enenapiyasa.lk


කොරෝනා වසංගතයත් සමග ලොව සෙසු රටවල් වල මෙන්ම ශ‍්‍රී ලංකාවේ ද අධ්‍යාපන ක‍්‍රියාවලියට දැඩි ලෙස බලපෑම් එල්ල වෙමින් පවතිනවා.

පාසල් විවෘත නොකිරීම හේතුවෙන් සිසු දරුවන්ගේ අධ්‍යාපනය බරපතල කඩාවැටීමකට ලක්වූ බව පොදු පිළිගැනීමයි.

කෙසේ වෙතත් ඔන්ලයින් හෙවත් මාර්ගගත අධ්‍යාපනය ඉදිරියට පැමිණීමත් සමඟ සිසුසිසුවියන්ගේ විෂය නිර්දේශ ආවරණය කිරීම මෙන්ම විෂයානුබද්ධ කරුණු ඉගැන්වීමට හැකියාව ලැබී තිබෙනවා.

එහි තවත් නවමු පියවරක් ලෙස ලක්.එෆ්.එම් ගුවන්විදුලිය විසින් ආරම්භ කල ඊ නැණ පියස මාර්ගගත හෙවත් ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමය හැඳින්විය හැකියි.

ඒ අනුව ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙල පෙරහුරු විභාගයක් ජනවාරි මස 18 වනදා පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ එළඹෙන අධ්‍යන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින්.

සිසු දරුදැරියන් වෙනුවෙන් විවිධ විකල්ප හා දුරස්ථ ඉගෙනුම් ක‍්‍රමෝපායන් පැවතුනද සාමාන්‍යපෙල වැනි තීරණාත්මක කඩඉම් විභාගයක් සඳහා ප‍්‍රමිතිගත අධ්‍යාපන ක‍්‍රියාවලියක අවශ්‍යතාව වර්තමානයේ දැඩි ලෙස මතුව තිබෙනවා.

එම අවශ්‍යතාව සපුරාලමින් ලක්.එෆ්.එම්. ගුවන් විදුලිය සිය ජාතික මාධ්‍ය වගකීම ඉටු කිරීමට සියල්ල සුදානම්.

ඒ ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතිය සහිතව සබරගමු පළාත් අධ්‍යාපන ආයතනය සමග එක්ව www.enenapiyasa.lk වෙබ් අඩවිය හරහා සාර්ථක අධ්‍යාපන ක‍්‍රමවේදයක් හඳුන්වා දෙමින්.

සාමාන්‍ය පෙල පෙරහුරු විභාගය සඳහා වන කාල සටහන http://www.lakfmnews.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබටත් ලබාගැනීමට හැකියාව පවතිනවා.

විභාග ආකෘතියට සැකසුණු මෙම ප‍්‍රමිතිගත පුණරීක්ෂණ පරීක්ෂණ වලට පෙනී සිටිමින් සිය ආත්ම විශ්වාසය තහවුරු කරගෙන එළඹෙන සාමාන්‍යපෙල විභාගයට සාර්ථකව මුහුණදීමට ඒ අනුව විභාග අපේක්‍ෂකයන්ට අවස්ථාව උදා වනු ඇති.

මෙම පෙරහුරු විභාගය සඳහා එදින විනාඩි 15 කට පෙර ලියාපදිංචි විම අනිවාර්ය වනවා.

මෙම පෙරහුරු විභාගය සිංහල, ඉංග‍්‍රීසි සහ දෙමළ යන භාෂාත‍්‍රයෙන්ම පැවැත්වීමට නියමිතයි.