උණුසුම් පුවත්

’’නොදන්න මිනිස්සු එක්ක බුදියල තමයි ලංකාවට එන්න වෙලා තියෙන්නේ’’


ඕමානයේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණියක් ෆේස්බුක් ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් කරන ආයාචනයක් කර තිබේ.

ඇය පවසන්නේ...

"කියන්න ගොඩක් දේවල් තියෙනවා, නමුත් අහන්න කෙනෙක් ඉඳීද කියන එකයි ප්‍රශ්නේ. අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ."

කොරෝනාවෛරස වසංගතය හේතුවෙන් තමන් යළි සියරට ගෙන්වාගන්නා මෙන් දිගින් දිගටම ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් කළ ඉල්ලීමට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණ බව ඇය පවසන්නීය.

"රුපියලටම අසරණ වුණ හින්ද තමයි ගෑණියෙක් රට එන්නේ. එහෙම ආපු ගෑණු, අද නොදන්න මිනිස්සු එක්ක බුදියල තමයි ලංකාවට එන්න වෙලා තියෙන්නේ. හරිම වේදනයි, කියන්න වචන නැහැ අපේ රටේ ගෑණු ගොඩක් අසරණ වෙලා මේ වෙලාවේ ... ," වේදනාවෙන් හඬමින් ඇය පවසන්නීය.

"මගේ යාලුවෝ අද ගණිකා වෘත්තියේ යෙදෙනවා තමන්ගේ රටට එන්න විදියක් නැතුව ..."

කෙතරම් ආයාචනා කළත් බලධාරීන්ට සිය වේදනාව නොහැඟෙන බවට ඇය චෝදනා කරන්නීය.

කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් විදේශයන්හි කොටු වී සිටින දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් කරන ඒ හා සමාන ආයාචනා ඇතුළු වාර්තා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පසුගිය දිනවල දකින්නට ලැබිණ.

ට්විටර් ඔස්සේ අදහස් දක්වමින් හිටපු කතානායක කරු ජයසූරිය පවසන්නේ, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යළි සිය රට පැමිණීමේදී විදේශීය සංචාරකයන්ට වඩා වැඩි මුදලක් සහ කාලයක් වැයකිරීමට සිදුවීම "ජාතික ප්‍රමුඛතා වරදවා ගැනීමක්" බවය.

ඉතා ඉක්මණින්ම ඔවුන් යළි සිය රට ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් මානව හිමිකම් ක්‍රියාධරයන් සහ විරුද්ධ පක්ෂය ද දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.