උණුසුම් පුවත්

සැමුවෙල් බීන් ගේ ගුප්ත ප්‍රහේලිකාව


වසර 1867 දී කැනේඩියානු වෛද්‍යවරයෙකු වූ සැමුවෙල් බීන් ගේ පළමු බිරිය වූ හෙන්රීටා මියගොස් මාස 20 කින් දෙවන බිරිය වූ සුසානා ද මිය ගියාය.

මියගිය බිරියන් දෙදෙනා සතුටෙන් තැබීම සඳහා ඔහු තීරණය කලේ ඔවුන් දෙදෙනාගේම ප්‍රියතම විනෝදාංශය පිළිඹිබු වන ආකාරයෙන් සොහොන් ගල් නිර්මාණය කිරීමටයි.

බිරියන් දෙදෙනාම එක ළඟ භූමිදාන කර තිබූ බැවින් දෙදෙනාටම පොදු එක් සොහොන්ගලක් අවසානයේ පිහිටවනු ලැබීය.

සොහොන්ගලේ අඩංගු වූ ප්‍රහේළිකාව ඊළඟ වසර 80 පුරාවට ඉතිහාසඥයින් වික්ෂිප්තව සහ ඛේත විසඳන්නන් කාර්යබහුලව තැබීය.

මෙම ප්‍රහේලිකාව සඳහන් සොහොන්ගල රෂස් සුසානභුමියේ අදටද දක්නට ලැබෙන නමුදු කාලගුණ තත්ත්වයන් නිසා හාණි වී, කියවීමට අපහසුය.

එබැවින් 1982 වසරේදී මුල් සොහොන්ගලේ ග්‍රැනයිට් අනුරුවක් ඒ අසළ පිහිටුවා තිබේ. 

සොහොන්ගල අඩි 3ක් පමණ උසය. අහස දෙසට දිගු කරන ලද ඇඟිල්ලක් සහිත අතක් "ගෙදර ගියා" යන වදන් සමග කොටා ඇත.

බිරියන් දෙදෙනාගේ නම් වලට පහළින්, හරහට 15 ක් සහ පහළට 15 ක් වනසේ අහඹු ලෙස ඉලක්කම් සහ අකුරු 225 කින් ප්‍රහේලිකාව කොටා ඇත.

1904 දී කියුබාවේ සංචාරය කරමින් සිටියදී, වෛද්‍ය බීන් බෝට්ටුවකින් වැටී, දියේ ගිලී මිය ගියේය.

කිසිම පුද්ගලයෙකුට විසඳීමට නොහැකිවූ ගුප්ත ප්‍රහේලිකාව සදා රහසක් විය.

වර්ෂ 1947 දී වෛද්‍ය බීන්ගේ භාර්යාවන්ගේ භූමිදානයෙන් වසර අසූවකට පමණ පසුව, එවකට සොහොන් භුමියේ භාරකරු වූ ජෝන් එල්. හැමන්ඩ් ප්‍රහේලිකාව විසඳුවේ ශිලා ලේඛනය පිටපත් කර, සිය නිවසට ගෙනගොස් මාස ගණනක් පුරා වෙහෙස වීමෙනි.

ප්‍රහේලිකාව විසඳීම සඳහා වමේ සිට 7 වැනි  තීරුව සහ ඉහළ සිට 7 වැනි පේළියේ අකුරින් පටන්ගෙන කියවිය යුතුය. 

විසඳූ ප්‍රහේළිකාව පහත පරිදි වෙයි:

IN MEMORIAM (සිහිවීම පිණිසයි)
HENRIETTA 1ST WIFE OF S BEAN M. D. (වෛද්‍ය බීන් ගේ පළමු බිරිඳ හෙන්රීටා)
WHO DIED 27TH SEP 1865 AGED 23 YEARS 2 MONTHS & 17 DAYS (වයස වසර 23 මාස 2 දින 17 දී 1865 සැප්තැම්බර් 27 දින මියයන ලදී)
& SUSANNA HIS 2ND WIFE (එමෙන්ම ඔහුගේ දෙවන බිරිඳ සුසානා)
WHO DIED 27TH APRIL 1867 AGED 26 YEARS 10 MONTHS & 15 DAYS (වයස වසර 26 මාස 10 දින 15 දී 1867 අප්‍රේල් 27 දින මියයන ලදී)
2 BETTER WIVES 1 MAN NEVER HAD (මොවුන්ට වඩා හොඳ බිරින්දෑවරු දෙදෙනෙක් මිනිසෙකුට කිසිදා නොලැබෙයි)
THEY WERE GIFTS FROM GOD BUT ARE NOW IN HEAVEN (මොවුන් දෙවියන්ගෙන් ලැබුන තෑගී වන නමුත් දැන් ස්වර්ගයේ සිටී)
MAY GOD HELP ME S. B. TO MEET THEM THERE (දෙවියනේ මට උදව් කරන්න එස්. බී. එහිදී ඔවුන් හමුවීමට)

(සිසිර මානගේ)