උණුසුම් පුවත්

ගල් ගැසීමට පෙර ඔබ නිවැරදිදැයි හදවතින් විමසන්න


ඉරාන ගම්මානයක් මැදින් මෝටර් රථයකින් ගමන් ගන්නා විදෙස් මාධ්‍යවේදියෙක්ට හදිසියේම එම ගම්මානයේ මදකට නතර වන්නට සිදු වෙනවා.

මෝටර් රථයේ දෝෂයක් හේතුවෙන් ගමන අතරමඟ නතර වුවත් කාර්මික ශිල්පියෙකුගේ සහය ලබාගන්නට ඔහුට හැකිවෙනවා.

නමුත් Kuhpayeh නම් එම ගම්මානය තුළම තම මෝටර් රථයේ දෝෂයක් හටගැනීම දෛවෝපගතව සිදු වූ විස්මජනක අහම්බයක් බව, ඊට ටික වේලාවකට පසුව අසන්නට ලැබෙන අදහාගත නොහැකි කතන්දරයක් නිසා ඔහුට පසක් වෙනවා.

"මේ කතාව මුළු ලෝකෙටම කියන්න, මේ තිරිසනුන්ගේ සැබෑ ස්වරූපය මේ ලෝකෙට පෙන්නලා දෙන්න", ගම්මුන් විසින් "පිස්සු ගැහැණියක්" ලෙසින් හැඳින්වූ, කතාව ඔහුට පැවසූ මැදිවියේ කාන්තාව විසින් එහෙම ඉල්ලීමක් කරනවා.

ඒ අනුව ප්‍රංශ - ඉරාන ජාතික මාධ්‍යවේදියෙකු සහ යුද වාර්තාකරුවකු වන Freidoune Sahebjam විසින් මේ ම්ලේච්ඡ ක්‍රියාවලිය ලොවට හෙළි කරනවා.

'La Femme Lapidée' නමින් ඉහළ අලෙවියක් වාර්තා කරනා නවකතාවක් බවට පත්වෙනවා.

පසුකලෙකදී එම අනුවේදනීය කතන්දරය 'The Stoning of Soraya M.' (2008) ලෙසින් සිනමාවට නැගෙනවා. නැරඹූවන් දැඩිසේ කම්පනයකට පත්කරවනවා.

"පව්කාරයාට ගල් ගැසීම" බොහෝම ප්‍රකට දඬුවම් ක්‍රමයක්. මොඩර්න් ලොව තුළ තවමත් ක්‍රියාත්මකයි.

වරදකට දඬුවමක් විදිහට ගල් ගසා මරණයට පත්කරලීම කිව්වම නිරායාසයෙන්ම මතකයට නැගෙන්නේ අරාබිකරය වුවත් "Stoning" නම් මෙම බිහිසුණු දඬුවම් ක්‍රමයේ පැතිරීම ඈත ඉතිහාසයක පටන්ම ලොව පුරා රටවල් රැසකම සිදුවෙනවා.

ඇෆ්ගනිස්ථානය, බෘනයි, ඉන්දුනීසියා, ඉරානය, ඉරාකය, නයිජීරියාව, පාකිස්තානය, සෞදි අරාබිය, සුඩානය, සෝමාලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මොරිටේනියා, යේමනය, කටාර් ආදියෙහි මියෙන තුරු ගල් වලින් පහර දී මරා දැමීමේ දඬුවම් ක්‍රමය ක්‍රියාත්මක වන නීති සම්පාදනය වී තිබෙනවා.

චිත්‍රපටයේ නම අනුව මෙහිදී එම දඬුවමට පාත්‍ර වෙන්නේ සොරායා නම් කාන්තාවක් බව අපට නරඹන්නට පෙරාතුවම දැනගන්නට ලැබෙනවා.

කාමමිථ්‍යාචාරයට හිමි දඬුවමක් විදිහට ඇය විසින් සිදු කල වරද කුමක්දැයි දැනගැනීමටයි චිත්‍රපටය නරඹන්නට වෙන්නේ. සාමාන්‍ය සිවිල් සමාජය තුළදී දරුණු අපරාධ සිදු කරනා වරදකරුවන්ට මරණ දණ්ඩනය පැනවිය යුතු යැයි අප කටවචනයෙන් පවසනවා.

වරදේ ස්වභාවය අනුව "ඕකුන්ව මරන්නමයි වටින්නේ..." අපි එහෙම කියනවා.

සිදු කරනු ලැබූ වරදක් නිසාවෙන් ඒ පුද්ගලයා ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු යැයි අපි තීරණය කරන්නෙ කොහොමද ? චෝදනාවන් ඔප්පු වී ඇති නිසා.

එනම් නීතිප්‍රකාරව පිළිගත් විනිස්‍චයකින් එම පුද්ගලයා සිදුකළ වරද ඔප්පු වී ඇති නම් "ඕකුන්ව මරල දාන්නමයි වටින්නේ" කියල අපි කියනවා.

මේ චිත්‍රපටයේදී සොරාය ත් වැරදිකාරිනියක් බවට නීතිය ඉදිරියේ ඔප්පු වෙනවා. "පව්කාරියට ගල් ගැසිය යුතුමයි." කාමමිථ්‍යාචාරයට දඬුවම එයයි.

සොරායා ගේ චෝදනා ඔප්පු වූ නිසා ගම්මුන්ට තව දුරටත් ඇය ආදරණීය අසල්වාසිනියක්, සුන්දර ගැහැනියක්, බිරිඳක්, මවක්, දියණියක් වන්නේ නැහැ.

ඇය පව්කාරියක්. නමුත් ඇයව පව්කාරියක් විදිහට හංවඩු ගහපු සමාජ ක්‍රමය ඇතුළෙ ඇත්තටම බලපවත්නා පුරුෂාධිපත්‍යය කියන දේ තවත් පැත්තකින් ආගමික උමතුවකින් වෙළෙමින් දඬු අඬුවක් බවට පත්වෙන හැටි කොයිතරම් නම් අසික්ෂිතද කියල හිතෙනවා.

ඒ සමාජ ක්‍රමයෙන් බැහැර වෙලා අපේ සමාජ ක්‍රමය තුළදී සොරායා ගෙ වරදකාරීත්වය ඔප්පු වූ අවස්ථාවකදී එවන් කාන්තාවක් ගල් ගසා මරාදමන්නට අපි පෙළඹෙනවාද ?

කාමමිථ්‍යාචාරයක් සිදු කරන්නියක්ව ඒ සා දරුණු වධහිංෂණයකට පත් කරන්නට අපි හිතන්නේම නැහැ. නමුත් වෙනත් ක්‍රියාවලීන් උදෙසා "ඕකුන්ව මරලම දාන්න ඕන" කියන මතයේ අපිත් දැඩිව එළ්ඹගෙන සිටිනවා.

අන්න එතනදියි අපි සොරායා ගෙ කතන්දරයේ නිවැරදි පොයින්ට් එක අවබෝධ කරගන්නට ඕන.

සොරායා ඇත්තටම දඬුවම් ලැබුවේ ඇයි කියන කාරණාව අපි වටහා ගන්නට ඕන. වරදක් කල අයෙක්ව "මරල දාන්න ඕන" කියල කියන්න කලින් ආයෙම වතාවක් හිතන්නට ඕන.

සොරායා අපිට කියන්නෙ ඒ කතාවයි. එවන් අවස්ථාවක් උදාවෙන සෑම වතාවකම සොරායා අපිට ඒ කාරණය නැවත නැවත මතක් කරල දෙයි.

(ලක්ෂ්මන් අරංවල)