උණුසුම් පුවත්

කොවිඩ් නිසා බැට කන නිදහස් වෙළෙඳ කලාප ශ්‍රමිකයින්


කෝවිඩ් වසංගතය හේතුවෙන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිතව කර්මාන්තශාලා නවයක් වසා දැමීම හේතුවෙන් සෘජු හා වක්‍ර සේවකයින් 3000කට ආසන්න ප්‍රමාණයකට රැකියා අහිමි වී ඇතැයි සමීක්ෂණයකින් අණාවරණය වී තිබේ.

'ප්‍රොජෙක්ට් ටෙක්' නමැති ආයතනයේ සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන කීපයක ද සහය ලබා ගෙන මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ, කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින 'රෙඩ්' ආයතනය විසිනි.

කම්කරු දෙපාර්තුමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන කීපයක නිලධාරීන්, ආගමික නායකයන්, කම්කරු නායකයන් මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව පසුගියදා මේ සමීක්ෂණයේ අනාවරණය වූ කරුණු පිළිබඳව විමසා බැලුහ.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රොජෙක්ට් ටෙක් ආයතනයේ අධ්‍යක්ෂක හා පුහුණු පර්යේෂණ හා තිරසාර පදනමේ උපදේශක තිලක් මඩපාත:

"කොවිඩ් පළමු හා දෙවැනි අවස්ථාවන් වලදී කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිතව කර්මාන්තශාලා හතරක්, බියගම නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්තශාලා දෙකක් හා නිදහස් වෙළෙඳ කලාපයෙන් පිටත කර්මාන්තශාලා තුනක් වසා දමා තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය යටතේ තිබෙන වෙළෙඳ කලාප 15කින් පමණ මේ වන විට කෝවිඩ් රෝගීන් වාර්තා වී තිබෙනවා. 

කෝවිඩ් පළමු අවස්ථාවේ කටුනායක හා බියගම නිදහස් වෙළෙඳ කලාපයෙන් ශ්‍රමිකයින් 800කට ආසන්න සංඛ්‍යාවක් රෝගීන් ලෙස වාර්තා වුණා. 

දෙවැනි අවස්ථාවේ රෝගීන් ලෙස ශ්‍රමිකයින් 3480ක් වාර්තා වුණා.

වෙනත් කලාප වලින්ද රෝගීන් ලෙස ශ්‍රමිකයින් සුළු වශයෙන් වාර්තා වෙනවා," යනුවෙන් පැවසීය.

මෙම සමීක්ෂණයේ අරමුණ වී ඇත්තේ කෝවිඩ් වසංගතය නිදහස් වෙළෙඳ කලාපයට හා ශ්‍රමිකයන්ට ඇති කරන ලද බලපෑම සහ ඉදිරියේදී මෙවන් තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමය.

(බී.බී.සිය ඇසුරෙනි)