උණුසුම් පුවත්

අද ප්‍රංශ පත්තරවල මුල් පිටු


ප්‍රංශය මුද්‍රණය කරන දිනපතා පුවත්පත් ප්‍රමාණය සිය ගණනක්. ඒ අතරින් දෛනික ප්‍රවෘත්ති නිකුත් කරන පුවත්පත් ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉතා විශාලයි. මේ පත්තරවල සැලකිය යුතු සංඛ්‍යාවක් අද ඊයේ තම ජනාධිපතිවරයා මුහුණ දුන් සිද්ධිය වාර්තා කර තිබුණා. ඒ වගේම ඒ සෑම පුවත්පතක්ම පහර දුන් පුද්ගලයාගේ ක්‍රියාකාරකම දැඩිව විවේචනය කර තිබෙනවා මෙන්ම පිළිකුළෙන් යුතුව හෙළා දැක තිබෙනවා. ප්‍රංශය කියන්නේ ‘අදහස් ප්‍රකාශ කිරීම සදහා අසීමිත ඉඩක් තියන භූමියක්‘. ඒ වගේම අන් සියල්ලට වඩා මානව ගරුත්වය හා මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කල්පනා කරන රාජ්‍යයක්. ඒ නිසා වාද කරන්න, සංවාද කරන්න, විවේචනය කරන්න, මත-මත ගට්ටන්න ඕන තරම් නිදහස තියනවා. නමුත්, ඒ වගේම නීති විරෝධී ක්‍රියා ප්‍රචණ්ඩත්වය හිංසනය හා අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් වචනාර්ථයෙන්ම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන රටක්. ඒකට හොදම උදාහරණය තමයි හිටපු ජනාධිපතිවරුන් වන ජැක් ශිරාක් හා නිකොලා-සාකෝර්සිට එරහෙිව පණවපු නඩු. කොහොම වුණත් ප්‍රජාතාන්ත්‍රවාදය හා මානව හිමිකම් උපරිම මට්ටමේ පවත්වාගන යන රටේ, ප්‍රජාතාන්ත්‍රවාදය වෙනුවට පුද්ගලයකු ප්‍රචණ්ඩත්වය තෝරා ගැනීම ගැනත් එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයාට පහර දීම ගැනත් පක්ෂ විපක්ෂ ස්වාධීන සියලු දෙනා තමන්ගේ නොකමැත්ත හා අපුල ප්‍රකාශයට පත් කර තිබෙනවා. මැක්‍රෝන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන මාරි-ලු-පෙන් ඊයෙම කිව්වා මෙහෙම, “මම තමයි මැක්‍රෙෝන් මහතාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා. නමුත්, මට මේ ක්‍රියාව අනුමත කළ නොහැකියි. ප්‍රජාතාන්ත්‍රවාදය මිල අධික හා කටුක විය හැක. නමුත් කිසි විටෙකත් ශාරිරික හිංසනය ඉවසිය නොහැක.“ මැක්‍රෝන්ගේ පාලනය දැඩිව විවේචනය කරන මාධ්‍යෙව්දීන් දේශපාලන ක්‍රියාකාරිකයින් මත පළකරන්නන් වගේම සමාජ ක්‍රියාකාරිකයින් පවා සියලුම දෙනා ඊයේ සිදු වුණු සිද්ධිය තරයේ හෙළා දැක්කා. ට්විටර්වල ටීවී ඉන්ටර්වීව්වල පත්තරවල ෆේස්බුක්වල ඒ ගැන එයාලා ලියලා තිබුණා. ඒ හැමෝගෙම අදහස වුණේ, ‘අත මිට මොළවා පෑණ මිරිකා කතිරය ගැසීමටත් - ඒ ගැන ලිවීමටත්, හොදින් කට විවෘත කර වාද කිරීමටත් නිදහස ඇති තැනක -- ඒ කිසිවත් තෝරා නොගෙන අත දිග හැර කණට ගැසීම පිළිකුල් හා බියගුළු ක්‍රියාවක්‘ බව (භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් - ප්‍රංශයේ සිට)