උණුසුම් පුවත්

ලෝක සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික විද්‍යාඥවරිය


එන්නත් නිෂ්පාදනය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා අත්‍යවශ්‍යම අවස්ථාවල පමණක් සතුන් යොදා ගන්නා මෙන් ජාත්‍යන්තර සම්මානලාභී ශ්‍රී ලාංකික තරුණ විද්‍යාඥවරියක පර්යේෂකයන්ගෙන් ඉල්ලා සිටින්නීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය තරංගා තෝරදෙණිය එම ඉල්ලීම කරන්නේ, ලෝක පශු වෛද්‍යවරුන්ගේ සංසදය ( (WVA -World Veterinary Association) සහ සේවා (Ceva - Ceva Santé Animale) එක්ව පිරිනමන ගෝලීය සත්ත්ව සුභසාධන සම්මානයෙන් (2020 Global Animal Welfare Awards) පිදුම් ලැබීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

"වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් යොදාගන්න වෙලාවක සතාගේ සුභ සාධනය සතාට වගේම පර්යේෂකයන්ටත් ඉතාම වැදගත්. මොකද පර්යේෂණය සාර්ථක වීම සඳහා සතා ශාරීරික වගේම මානසිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටීම අත්‍යවශ්‍යම දෙයක්," ඇය සඳහන් කළාය.

"පර්යේෂණයකට යොදාගන්න වෙලාවක සතා වේදනාවෙන් හෝ ආතතියෙන් ඉන්නවා නම් පර්යේෂණ ප්‍රතිඵල නිරවද්‍ය නැතිවෙන්න පුළුවන්. මොකද වේදනාව හා ආතතිය පීඩාවට (distress) හේතු විය හැකි අතර මේ නිසා ජෛව විද්‍යාත්මක බලපෑම් ඇති කරන්න පුළුවන්. අපි මෙය බොහෝ කලක සිට හඳුනාගෙන තියනවා. මෙම හේතූන් නිසා, සතුන්ට ඇතිවන වේදනාව හා ආතතිය පාලනය කිරීමට සහ සුව කිරීමට අපි නිරන්තරයෙන් උත්සාහ ගත යුතුයි."

ඇය මේ වසරේ ගෝලීය සත්ත්ව සුභසාධන සම්මානයෙන් පිදුම් ලැබුවේ එසේ සත්ත්ව සුභ සාධනය උදෙසා ගෙන යන වැඩපිළිවෙල අගය කිරීමක් වශයෙනි.

"ලෝකය තවමත් සතුන් වෙනුවට භාවිත කළ හැකි විකල්ප ක්‍රම හොයා ගෙන යනවා. සමහර ඒවා දැනටමත් සනාථ කරල තියනවා. අත්‍යවශ්‍යම දේට විතරක් සතුන් යොදාගන්න කියන එක තමා අපේ බලාපොරොත්තුව," ආචාර්ය තරංගා තෝරදෙණිය පවසන්නීය.

(බී.බී.සිය ඇසුරෙනි)