උණුසුම් පුවත්

රිය අනතුර සිදුකළ දියණියට නුගේගොඩ SSP පොලිසියේදී පහර දෙයි


රිය අනතුරුවලින් දිනකට ලංකාවේ පහක් දහයක් මිය යන අතර තුවාල ලබන ගණන බොහෝමයක්.

එහෙත් එම අනතුරුවලට වඩා මුළු රටම ගිය සතියේ කතා කළේ කිසිවකුටත් සීරීමක් නොවූ රිය අනතුරක් ගැනය.

ඊට හේතු වූයේ රිය අනතුර කළ බවට චෝදනා එල්ල වූ තරුණියට රියැදුරු බලපත්‍ර නෙතිබීම නිසාම නොව ඇය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණියක් වීමයි. 

චෝදනාව ගැන අදහස් දැක්වූ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක -

‘‘ඕනෑම කෙනෙකුගේ අතින් අනතුරු වෙන්න පුළුවන්. මේ අනතුර විශේෂ වෙන්නේ මම කරන රැකියාව සහ මගේ තනතුර අනුව මෙය මාධ්‍යයට විශේෂයි.

මම කිසිම දිනක මගේ දරුවන්ට වැරැදි කරන්න ඉඩ දීලා නෑ. ඔය සිදුවීම වුණු දිනයේ මම එයාට යාළුවෙක්ගෙ ගෙදර යන්න අවශ්‍යයි කියූ නිසා ගෙනිහින් ඒ ළමයින්ගේ ගෙදර ගිහින් බැස්සුවා.

එතැනට පැමිණි එයාලත් එක්ක එකට අධ්‍යාපනය ලබන යාළුවෙක්ගෙ තමයි අනතුර වෙලා තිබෙන ජීප් රිය. දුව වාහනවලට ආසයි. ඒ නිසා තමයි යාළුවගෙන් ඉල්ලගෙන ඩ්‍රයිව් කරලා තියෙන්නේ.

මට සිදුවීම ආරංචි වුණු ගමන් මම පොලිසියට ගිහින් දුවට පහරවල් කිහිපයක් ගැහුවා.

ඒ තාත්තා කෙනෙක් හැටියට මට දුව කළ වැඩේ ගැන ඇති වූ කේන්තියට. 2019 අවුරුද්දේ පුතාගේ අතිනුත් අනතුරක් වුණා.

ඒ අවස්ථාවේදීත් මමම තමයි පුතාව ගිහින් බම්බලපිටිය පොලිසියට භාර දුන්නේ.

එදත් වුණේ වාහනය පදවපු කෙනා මත්පැන් පානය කරලා සිටි නිසා මගේ පුතා තමයි වාහනය අරගෙන ඇවිත් තියෙන්නේ.

ඒ වෙලාවේ තමයි බොරැල්ල පොලිසියේ රථ වාහන අංශ ස්ථානාධිපතිගෙ යතුරුපැදිය ගැටිලා අනතුර වුණේ.

ඒ වෙලාවේ තිබුණු පාලන ක්‍රමයත් එක්ක මගේ පුතත් සමග මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ දරුවත් සිටි නිසා විවිධ තැන්වලින් බලපෑම් ආවේ මන්ත්‍රීවරයාගේ පුතාගේ නම කියන්න කියන එකයි.

මම දරුවන්ට බොරු කියන්න උගන්වල නැහැ. ඒ නිසා පුතා ස්ව කැමැත්තෙන් ඇත්ත පවසා සිටියා.

කිසිම විටක මම පොලිසියට බලපෑම් කරලා නැහැ. සමාජ මාධ්‍යවලින් අනතුරට පත් වූ කාර් රථය මගේ කියලා ප්‍රචාරය කරලා තියෙනාව.

මට එවැනි මිල අධික වාහනයක් මිලදී ගැනීමට හැකියාවක් නැහැ. වාහනය මගේ කියන එක සම්පූර්ණ අසත්‍ය ප්‍රචාරයක්. මගේ දුව වැරැද්දක් කළා.

එය දැන් අධිකරණයේ විභාග වන දෙයක්. අධිකරණයෙන් ලැබෙන ඕනෑම තීන්දුවක් බාර අරගෙන ඉදිරි කටයුතු කරනවා.

මේ වන විට සැකකාර තරුණිය කුරුඳුවත්ත පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරාජ් අබේසේකර හා පොලිස් කොස්තාපල් ශිරන්ත (67137) විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිරෝෂි කාහිංගල නියෝග කළේ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත සැකකාර තරුණිය මුදාහරින ලෙසය.

නන්ද මෝටර්ස් ආයතනය පවසන්නේ මේ අනතුරින් දැනට දල වශයෙන් ගණනය කර ඇති අලාභය රුපියල් ලක්ෂ 150කට අධික බව බවය.

එම මුදල හරියටම තක්සේරු කිරීමට එම ආයතනය හානි තක්සේරු කිරීමේ ආයතනයට පවරා ඇත.