උණුසුම් පුවත්

ගිලෙමින් සිටි තරුණිය බේරගන්න ගඟට පැන්න තානාපති නිලධාරියා


චීනය තුළ බ්‍රිතාන්‍ය ජාතිකයින්ට ඇත්තේ යහපත් ආකල්පයක් නොවේ.

නමුත් එය වෙනස් කිරීමට හේතුවූ සිදුවීමක් පසුගියදා වාර්තා විණි.

ඒ, දියේ ගිලෙමින් සිටි චීන තරුණියක් බේරා ගැනීමට බ්‍රිතාන්‍ය තානාපති නිලධාරියෙක් කළ වික්‍රමයක් හේතුවෙනි.

චීනයේ චෝන්ක්ඉං පළාතේ කොන්සල් ජනරාල්වරයා වූ ස්ටීවන් එලිසන් ගංගාවක් අසලින් ඇවිදිමින් සිටියේ අවට පරිසරයේ සුන්දරත්වය විඳිමින්.

එවිට ඔහු දුටුවේ ගැඹුරු දියට වැටී ජීවිතයත් මරණයත් අතර සටන්වදින තරුණියකි.    

ඇය 24 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියකි. අසල සිටි අයෙක් සිය ජංගම දුරකථනයෙන් එම සිදුවීම පටිගත කර තිබුණි.

එහි දැක්වෙන්නේ, ගඟට වැටුණු තරුණිය දියේ ගිලෙන අයුරුත් ඉන්පසු මතුවන අයුරුත් ය.

එය දුටු එලිසන් ජලයට බැස පිහිනාගොස් එම තරුණිය බේරාගෙන ඉවුරට ගෙන ආවේය.

චීනය සහ එක්සත් රාජධානිය අතර සබඳතා පසුගිය වසර තුළ විවිධ හේතුමත බිඳවැටිණි. ඒ, හොං කොං, හුවායි සහ කොරෝනා සම්බන්ධයෙනි.  

නමුත් චීන සමාජ මාධ්‍ය පරිශීලකයින් ඔහුව හැඳින්වූයේ “වීරයෙක්” වශයෙනි.